Wednesday 10 March 2010

කංපීතර් ඩිප්පෝමා කෙරුවාව

"අද අපි කතා කරන්න යන්නෙ පරිගණක මෙහෙයුම් පද්ධති ගැන. පෟද්ගලික පරිගණක වලට බහුලවම භාවිතා කෙරෙන වින්ඩෝස් XP මෙහෙයුම් පද්ධතිය පාවිච්චි කරන හැටි තමයි අපි ඉගනගන්න යන්නෙ"
"සෑර්, මා ළග ගෙදර 98 නෙ තියෙන්නෙ"
"අනිත් දවසෙ එනකොට blank cd එකක් ගේන්නකො, මම හොද කොපියක් දෙන්නං"

කියනවා වගේම සෑර් දෙන්නේ "හොදම කොපියකි". මලයාසියාව, වීනය පැත්තේ දහස් දනනින් කොපි කල කොපියකින් පලු යන්නට සෑරුත් කොපි ගසා දෙයි. course description එකේ තියෙන්නේ Windows, MS Office, Visual Basic කියාය. ඉතිං ඉගැන්විය යුත්තේ ඒවාය. බොහොම අමාරුවෙන් පංති ගාස්තුව ගෙවන්න සල්ලි එකතුකර දෙන ළමයාගේ ගෙදර තියන පරිගණකයට දමන්නට ඕවා නියම මිල ගනන් ගෙවා මිලදීගත නොහැක. නමුත් පංතියේ දී??? පරිගණක ඩිප්ලෝමාවක ඉලක්කය නම් පරිගණකයක් යන්න පිලිබද දල අදහසක් ඇතිකරගෙන ඒය ඒදිනදා උවමනා ඒපාකම් සදහා පාවිච්චියට ගන්නා සැටි උගැන්වීමය. ඒතන වෙන්නේ පලමු මාසය පමන සෑර්ටත් හරිගැඩි වැටහමක් නැති ලමයින්ට නිදිමත හැදෙන තියරියක් ගැන කියවා පරිගණකයේ "කෑලි නම් කරන්නට" කියාදීමට සමගාමීව යලිත් වතාවක් ළමයින්ට නින්ද යනකන් "පරිගණකයේ වංශකතාව" කියාදුන් පසුව මෙහෙයුම් පද්ධතියේ සැරිසරන හැටි, folder එකක් හදාගන්න, තමන් හදන ලියවිල්ලක් ඒතන සුරකින්න, නැවත විවෘත කරන්න උගන්වා ලියුමක් ටයිප් කරන්න බෝල්ඩ් කරන්න, ඉටැලික් කරන්න align කරන්න්න කියාදී "word" කොටස ඉවරකල පසු Excel චලින් formula එකකින් එකතු කරන්න, table එකක් හදන්න, ඒකෙන් chart එකක් හදන්න කියාදීමෙන් Excel කෙරුවාව ඉවර වේ. ඉන්පසු එන්නේ presentation කෙරුවාවයි. slide එකෙන් එකට පියාබන්න properties හදා දී F5 ඔබා හෝ side show->view show කර ඒ කතංදරයද ඉවර වේ.

පාථමාලාවේ මුල සිටම ළමයින්ව බයකල හෙනම අමාරු programming එන්නේ ඊළගටය. VB6 භාවිතා කර "කාලකන්නි" විදියට code කිරීමට දල අදහසක් ලබා දුන් පසුව,HTML චුට්ටක් සමග Java වලිං හලෝ කියන්නට කියාදෙයි. මසකට කලිං programming කියා VB තොලකට ගෑ ළමයි ටික, එකෙක් නෑර "හප්පේ java අමාරුයි" කියයි. 80%කට වඩා සෑර්ලාද හරකා සේ ඔලුව වනා "java නං අමාරුයි තමයි" කියයි.

internet & e-mail කියා hotmail හෝ yahoo පාවිච්චි කරන්න කියාදීමෙන් "ඩිප්ලෝමා කෙරුවාව" අවසාන වේ.

ඩිප්ලොමාවට MS Office උගෙන්වීමට හේතුව Microsoft Office Specialist විභාගය සදහා පෙර සූදානම් කිරීමක් ලෙසත්, VB6 උගැන්වීමට හේතුව Microsoft Certified Solution Developer වෙත පුහුනු කිරීමක් ලෙසත් (VB6 සදහා තිබූ exam එක expire වී හත් අවුරුද්දක් ගෙවී ඇතත්) සාධාරණීකරනය කෙරේ. මම දන්නා තරමින් ඩිප්ලොමාවට සහභාගී වන ලමුන්ගෙන් 1%ක් වත් ඔය දෙක සදහා මුහුන නොදෙයි. එහෙම බව දැන දැන හොරා කෑ කොපි වලිං MS දේවල් පමණක්ම උගන්වන concept එක තේරුම් ගන්නට කල්පනා කරන්නට බිව්ව තරම දන්නේ anthraxම පමණී.

ඉහත විස්තර කල Office වැඩ ටික කරගැනීම open office වැනි මෘදුකාංක කට්ටලයකින් කල නොහැකි තරම් FOSS 'බලු' නැතිබව තේරුම් ගන්නට ඔතරම් අමාරුද? උවමනාව programming concept උගන්වන එකේ කොහොමටත් උගන්නන java පොඩ්ඩක බරකර උගන්වා VB අතඅරින්නට බැරි ඇයි? Windows promote කිරීමෙන් ඒ අයටවත් FOSS promote කිරීමෙන් අපටවත් ලැබෙන අලගෙඩියක් නැත. එසේ තිබියදී හොරාකන්නේ නැතුව නිදහස් මෘදුකාංග භාවිතා නොකිරීමට උනන්දු නොවෙනවා මදිවාට එය සාධාරණීකරනය කරන බුවාලාට IT වලින් කෙසේවෙතත් දේශපාලනයෙන් නම් සෑහෙන දුර ගමනක් යා හැකිය.

linux හා සැසදීමේදී Windows භාවිතය පහසුය. ඒ ගැන කතා කිරීමට දෙයක් නැත. පහසුව සහ ආරක්ෂාව තරාදියක තැටි දෙකට සමාන බව කවුරුත් දන්නා කතංදරයකි. "Windows වල linux එක්ක බලද්දි ආරක්ෂාව නං අඩුයි තමයි" කියා පොර ටෝක් දෙන එක අයියෙක්ට වත් "හොරාකෑ Windows කොපිය" කොතරම් අනාරක්ෂිතද කියා කිසිම හැගීමක් නැත. ඒ දුටුගැමුණු රජ සමයේ හැකර්ලා මෙන් අද ඉන්නවුන් 'හැක්' කල පලියට සද්ද බද්ද නොදමන නිසාය.

ලංකාවේ අධ්‍යාපන ක්‍රමය සමග තැලුනු පොඩිවුනු අපේ ළමයින්ට බහුතරයක් සල්ලිකාර යුරෝපා රටවල ලමයින්ට වඩා මොළයක් තිබෙන බව අමුතුවෙන් කිවයුත්තක් නොවේ. එසේ තිබියදී අපේ ළමයින්ව උන්ගේ ගානට 'ගොං' සේ සලකා ගොං ලෙස උගැන්වීම නොකල යුතුය. හැමදාමත් කියන්නා සේ සල්ලි ඇති අය වියදම් කර proprietary පාවිච්චි කරනවාට විරුද්ධ නොවෙමි. කම්මැලිකම නිසා 'ශේප් එකේ හොරාකා' එය සාධාරනීකරණය කිරීමට උත්සහ දැරීම නොමනාය.