Friday 16 July 2010

මෘදුකාංග නිර්මාණය

මොට්ටසෝරියට යන කාලයේ a,b,c කියවන විට තිබුන ලොකුම බලාපොරොත්තුව නම් මොන ගේමක් දී හෝ z වෙනකම් කියවා ගැනීමටය. හැකි ඉක්මනින් ඔය 'ඉංගිරිසි ටික' ඉගගෙන සුද්දා වාගේ ඉන්නටය. දනි පනි ගා z වෙනකම් කියවූ විට 'ඉස්පෙලිං' කියා ජාතියක් ඉගනගතයුතු යැයි කියැවෙයි. ඉස්පෙලිං කෙලිය බාගෙට යනවිට grammar, idioms, cockney rhyming slang ආදී මේකී නොකී කතංදර අම්බානක් ගැන අහන්න දකින්න සිදුවෙයි. කාලයත් සමග ඔය කතංදර සියල්ල ගැන ටික ටික ඉගනගත් පසු 'සුද්දා සේ ඉංගිරිසි දැනගන්නට' නම් අහවල් අහවල් විභාග කලයුතු බව කටකතාව ඇසෙන්නට වෙයි. කතාවේ හොදම හරිය පටං ගන්නෙ සුද්දා සමග කඩු හරඹ පටන් ගත් විටය. අපිට පස්සා පැත්ත උන්ගෙන් එකෙක්ට 'ආස්' වනවිට තවෙකෙක්ට 'ඈස්' ය. එලකියුෂන් කියා දාස් ගනන් දී කටවල් උල් කරනහැටි පුරුදු වෙන්නට පංති ගියවුන් පවා කියන දේ තේරුම් ගන්නේ හත් අට සැරයක් 'ඈහ්' හෝ 'beg your pardon' කියාය.

කම්පීතර කෙරුවාවෙත් මේ හා සමානය. මුලින්ම උවමනා හසුරවන හැටි ඉගන ගන්ටය.ඊට පසු office පාවිච්චි කරන්ටය. ඊටත් පසු graphic design හෝ programming ය. ඔය ආදි වශයෙන් ඉගනගැනීමට කෙරවලක් නැති බව අපි කව්රුත් වටහාගත යුතුය. විශය කුමක් වුවත් අපි කොපමන නොදන්නවාද යන්න දෙනෙන්නේ එය ඉගෙනගන්නා තරමටය. වැරදි තැන්වලට යාම නිසා හෝ වැරදි කටකතා සිරාවට ගැනීම නිසා වැරදි මග යන්නන් බොහෝය.

අනිත් විශයන් කෙසේ වෙතත් IT සම්බන්ධව ප්‍රශ්ණයක් වෙතොත් එකම දේ අඩුම තරමේ තුන් හතර දෙනෙකුගෙන් වත් ඇසීම නුවනට හුරුය. හේතුව නම් මෙසේය. අප හුග දෙනෙක් මේ IT කෙරුවාව ඉගනගන්නේ අතපත ගෑමෙනි. ටියරිය සමග පැට්ටිකල් වලට අස්ප ගනං ගෙවන්නට ගෙවල් වලට කරදර කිරීම කල නොහැක්කකි. (මමද ඔය කී ගනයට අයත් එකෙක් මි). නමුත් ඔතන ඇති අලය නම් කෙසේ හෝ අටවා වැඩේ ගොඩදාගත් පසු (OS එකක් ස්ථාපණය කිරීමක් ගැන හිතන්න) ඒ විෂය සම්බන්ධයෙන් මහාවාර්ය හැගීම් පහල වන්නට පටන් ගැනීමය. ඉන් පසු හිතට එන එන පට්ටපල් කෙබර, තියරි ලෙස අනුන්ට කියාදෙන්නට පටන්ගැනීමය. ඒවා අසා වාදාරණ අහිසකයන්ට ඉතින් තුණුරුවන්ගේම සරණය. තටම තටමා හෙන අමාරුවෙන් යමක් ගොඩදාගත් පසු ඇතිවන සතුට නොදන්නෙක් සෙවීම අපහසුය. නමුත් වැඩේට පෙර user manual හෝ documentation හෝ README කියා දී ඇති අකුරු කන්දරාව කියවූයේ නම් වැඩේ සෑහෙන ලේසියෙන් ගොඩදැමියහැකි බව දැන දැන තමන්ට ඕනෑ විදියට වැඩ කරන්නට මිනිස්සුන්ට හිතෙන එක මහා අරුමයකි.

පහුගිය දිනවල දිගට දිගටම ඇසුනු ඔය ජාතියේ ලොකුම විහිලුව VB ය. හරියටම විස්තර සහිතව කිවහොත් vb6 ය. Mycrapsoft සමාගමෙන් අනාගත developer පරම්පරාව කාලකන්නින් කිරීමේ පරම පිවිතුරු වේතනාවෙන් දුටුගැමුනු රජ සමයේ හදුන්වාදුන් මේ පරිගණක භාෂාව ඉගනගන්න තටමන අලුත් බයියන් (newbie ලා) ට කතාව පැහැදිලිකරන්නට පටන්ගන්නා සංවාද හැමෙකක්ම ඉවරවන්නේ ඇන්ටාට යකා යන්නට මල පැනීමෙනි. vb6 outdated කියා කියාදෙන්නට තැනූ කල එකෙක් මට දුන් උත්තරය 'ඉතිං C පටට පරණයි නෙ' යන්නය. ඇති අයෙක් වෙතොත් VB6 ඉගෙනගෙන දියුනුකරගත් skill set එක ගැන පහදාදෙන්නේ නම් අතිශය ඉස්තූතිවන්න වෙමි. vb වලින් programming ඉගෙනගෙන හරිහමන් මෘදුකාංග සංවර්ධන රැකියාවකට ගොස්, ගලේ පැහැරූ බළලාට වූ හරිය සිදුනොවූ අයෙක් වෙතොත් ඌ හෝ ඈ ට දන ප්‍රසිද්ධියේ දන නමා වදින්නට ඇනටා සූදානම්ය. සංවර්ධන කටයුතු වලට vb6 ගෑවුනු අපි කවුරුත් දන්නා මෙහෙයුම් පද්ධතියේ features මේ ආකාර බව දැක නැත්තෙකු වෙතොත් අරුමයකි.



ඉරිදා දහම්පාසල් ගොස් ප්‍රශ්ණයකට පිලියම් කල යුත්තේ එහි මතුපිටට නොව හරයට යැයි පටිච්ච සමුප්පාදය ඉගෙනගගන්නා ඈයන් හෙනහුරාදා කංපීතර පන්තියට ගොස් inventory එකක් හදන්න පටන්ගන්නේ user interface design කිරීමෙනි. හරය ක්‍රියාකලයුතු ආකාරය ගැන අලගෙඩියක් නොදැන, පරිශීලකයා මෙහෙම මෙහෙම කලාම මෙහෙම වෙන්ට ඕනෑ යයි සිතන්න පුරුදු කිරීම අනාගතයට හැබෑ දක්ෂයන් හුරුකල හැකි හොදම මගය. error handling කියා කියාදෙන්නේ පිටුවේ උඩටම 'on error resume next' කියන්නටය. හිංගලෙන් කීවොත් 'අවුලක් උනොත් ගනං ගන්නැතුව දිගටම යන්න' කියාය. උදාහරණයක් ලෙස පුටාර් එකක් පැදියහැකි රොබෝ කටුවක් සදහා vb6 වලිං ලියන කේතයක් ගැන හිතමු. කේතය ලිවිය යුත්තේ රොබෝ බුවාට වම, දකුන, වම කර කර ඉන්නටය. programmer ට සිතීමට අමතක උනු මොකක් හෝ නොසිතූ විරූ නස්පැත්තියක් සිදුවුවහොත් (ඇණයක් බුරුල් වී රෝදයක් ගැලවී යාම, චේන් එක පැනීම, පාර මැද අඹ ගෙඩියක් තිබීම, පාරේ වෙනත් ඇස්සිඩොං ඒකක් සිදුවී තිබීම ආදී) කේතයේ පරිදි රොබෝ කල යුත්තේ එය පඩයකට මායිම් නොකර තමා ගේ වම, දකුන, වම instructions පිලිපැදීමය. එවන් අවස්ථාවක සිදුවන හරිය ඔබට සිතාගන්නට ඉඩහරිමි.

ශ්‍රම විභජනය යැයි එකක් ගැන දහය වසර සමාජ අධ්‍යනයට අපි අසා ඇත්තෙමු. එතනදී කියාදුන් උදාහරණය නම් ඇගලුම් කර්මාන්තයේ දී සිදුවන 'අත මහන්න පලපුරුද්ද', 'පිට මහන්න පලපුරුද්ද', 'කර මහන්න පලපුරුද්ද' ආදී වෙනස් වෙනස් කොටස් මහන්න වෙනස් වෙනස් පුද්ගලයන් පුරුදු කිරීමය. ඒ ආකාරයට අදාල කොටස වේගවත්ව සිදුකලහැකි ශ්‍රමිකයන් පිරිසක් තුලින් final product එක නිමවීමට යන කාලය අවම කරගත හැක. නමුත් ශ්‍රමිකයාගේ කෝණයෙන් බැලූ කල 'අත මහන්න' දන්නා එකා ඒ හැර වෙන අලගෙඩියක් කිරීමට කිසිදු අවබෝධයක් නැත. කර මසන ඒකාගේ කතාවද එසේමය. ඔබත් දැනටමත් වෘත්තීමය මෘදුකාංග ශිල්පියෙකු නම්, මෘදුකාංග නිර්මාණයේදීත් මේ ආකාරයට අත, කර මැස්සවීම සිදුවෙන බව මදක් සිතාබැලුවහොත් වැටහෙනු ඇති. එසේ නම් මේ කෙලිය දිගටම කලහොත් කවදා හෝ දවසක තමාගේම කියා ටේලර් සාප්පුවක් දමාගැනීම සිහිනයක් පමනක් බව විශේෂයෙන් කියාදීමේ උවමනාවක් නැත. කියවූ කෙනෙක්ට Mycrapsoft හී COM, .net හැර වෙනස් වෙනස් තාක්ෂණයන් ගැන සොයා බලා ඉගෙනගෙන 'තනියමම shirt එකක් මහන්න' ඉගනගන්න හිතක් පහලවේවා කියා පතමින් මෙසේ ලියා තබමි.

Friday 2 July 2010

විරෝධය පලකිරීමක්

ලියන්නට හරිහමන් දෙයක් කම්පනාවට නොආ නිසා සහ බී.සී. වී සහ busy වී සිටි නිසා සෑහෙන කාලයකට ලිපියක් නොලිවීම ගැන පසුතැවෙමින් සිටියෙමි. ඒ අතර lunch hour එකේ හප හපා(දිවා ආහාරය) කොට කොටා(keyboard එකට) සිටි මට කොහේන් හෝ පාත්වුනු ලිංක් එකක කික් කර ඒ ලිපිය කියවාගෙන මග දුරක් යනවිට ඔලුවට බස බස ගා කුනුහරප ගලා එන්නට විය. ලිපිය අගටම කියවූ පසු ඇතිවූ හැකය නිසා පුංචි search පාරක් දැමූ විට මේ ලිපිය ඇස ගැටුනෙන් ඉහත කී ගලා ඒම දෙගුන තෙගුන වී වචන ලෙසද පිටවන්නට විය.

ලිපියේ අන්තර්ගතය ගැන හෝ එහි ප්‍රායෝගිකත්වය ගැන රචකයාට මී බෙට්ටක තරම් වත් අවබෝධයක් නැත. එය තනිකරම ඉංගිරිසි වාක්‍යය හිංගලට පරිවර්තනය කිරීමක් පමනි. ඒ හැරුනුකොට නිසැකවම රචකයාට foss promote කරන්නට කිසිම රුදාවක් ඇත්තේද නැත. original ලිපියේ පවා පියවර දක්වා ඇත්තේ මුලින් GUI එක භාවිතා කරන ආකාරය සහ පසුව command line එක භාවිතා කරන ආකාරය ය. එසේ තිබියදී තමන්ගේ ලිපියේ මුලට command line instructions දී ඇත්තේ, "linux අමාරුයි, පාවිච්චි කරන්න එපා" කියන්නා සේ ය. screenshots පවා original ලිපියෙන් කිසිම හිරිකිතක් නැතිව ගෙඩිය පිටින් කොපි කරගෙන තමන්ගේ පෝස්ට් එකට ඔබ්බවාගෙන original ලිපිය ගැන කිසිදු හාවක් හූවක් නැතිව ඉංගිරිසි ටික සිංහලට හරවා එය 'තමන්ගේ ලිපියක්' කරගෙන සැටි හැබෑවටම අපූරුය. අඩුම තරමේ ඉංගිරිසි ලිපියේ පියවර පිලිපදිමින් තමන්ගේ පරිගණකයෙන් screenshots ගන්නවත් බැරි ඇයිද යන පැණයට මට නම් හිතට එන්නේ එකම එක පිලිතරකි. ඒ රචකයා ubuntu හෝ වෙනත් linux බෙදාහැරීමක් පාවිච්චි කරන්නෙක් නොවේ යන්නය.

IT සිංහලෙන් කියාදෙන පරිගණක සගරාවක ලිපිවල ගුණාත්මක භාවයේ තරම ඔහොමය.